Wednesday, September 23, 2015

ඒ රහත් උතුමෝ සහ අපි

මඩ තැවරුණු ,ලේ තැවරුණු දුගඳ හමන 
බර කද මලු හිස දරාන
තුන් සරණේ කවි කිය කිය 
මහ ගිරි ඳඹ නගින්නෝ
සුදු තැවරුව ,විසිතුරු කළ ,සුවඳ හමන 
බර කද මලු හිස දරාන 
තුන් සරණේ කවිත් නොකිය 
මහ ගිරි ඳඹ නගින්නෝ
කිලිටු මඩ ලේ දුඟද ද 
නේක පිවිතුරු සුවඳ ද 
උරුම ඒ කද මලු හැම 
තබා ළිහිණි ට තනියට
කන්ද කරුණා කළ අය 
වඳිති ඒ සිරි පා කමල් යුග

Friday, September 18, 2015

ආයෙමත් ආදරෙන්


හිතුවෙ නෑ මුණගැහෙයි කියල කවදාවත් ම
කෙස් ගහක් දෙකක් පැහුන ට
පරණ පෙම් පාටමයි ඇස්වල
උඩු රැවුලකුත් වවල ඇත්තට
මතකයි ඉස්කෝල කාලෙ
තිබ්බ ආසව ඕකට
කියන්නකො ඉතින් කොහොම ද ?
නෝනට එහෙම

ඇයි ඉතින් කඳුලු ඇස් වල
ඔයා රට යනකොට
බඩට මාස දෙකයි යන්තමට
අම්ම ට අහු වුණා
කනකොට අන්නාසි ගැට
ඊට පස්සෙ මම හිටියෙ
අම්පාරෙ ලොකු අම්මලගෙ ගෙදර
හම්බ වෙනකොට ම නැති උණා
ඔයාගෙ ලේ උරුමෙ මට
සමාව දෙන්න රත්තරන්
මොනා කරන්න ද මම ?

ඊටත් පස්සෙ ,
කාලයක් උන්න අංගොඩ
අම්මවත් ආවෙ නෑ බලන්න
එහෙන් පැනල යනකොටයි
හම්බ උනේ "මැඩම්"ව මට
සලකපු තාලෙට හිතුනෙ ම නෑ
රත්නෙ නපුරක් මට
නාඳුනන මිනිහෙක් අතින්
දෙවෙනි පාරටත් ගෑණියෙක් වෙනකොට
යන්තම් විසි දෙකයි මට
නාඩ ඉන්න ඔයා මොනා කරන්න ද
මගෙ ම කරුමෙ ට

ගෙදර ගියෙ නෑ ඉතිං
ආයෙත් මම
අම්මෝ! අවුරුදු විස්සකට කිට්ටුයි
මේ වෙනකොට
බිස්නසුත් නෑ දැන්නම් මට
ඉඳල හිටල එන කස්ටමර්  කෙනෙක් අරුනම
වෙන වෙන බිස්නස් තමයි වැඩිපුර
ඒත් රත්නෙ ,
හීනෙකින් වත් හිතුවෙ නෑ
ජීවිතෙ හම්බ වෙයි කියල
හොටෙල් කාමරයක්  ඇතුලෙ
ආයෙමත් මට
අනේ රත්තරන් ,
ඔළුව උස්සල බලනව ද
ඉස්සර වගේ ලස්සන නැද්ද මම
එකම එක පාරක් අයෙත් කියනව ද
ආදරෙයි කියල මට
සල්ලි නම් එපා මට ........

Thursday, September 17, 2015

කලු අඳුර වට කරන්
ඇනුම් පද කියන කොට
මල් තුහින කොපුලතේ
උණුහුමට මියෙන කොට
නෙත් අගක ලුණු රසක්
සුළඟ රස විඳින කොට
සිත් ඉමේ නුඹ හිදී
මතක මල් හුරු ගෙන....

අවැසි මුත් දැක ගන්න
සුදු සිනා වත පිපෙන
ආස මුත් විඳ ගන්න
ගත ගලන මුදු සුවඳ
නිදන්නට සිතෙන මුත්
මුව හොවා හසුන් මැද
හිත කෙලෙස පණ දෙම් ද
මතක ලොවැ රන් රුවට.......

විසුල ගගනත අරා
තරු ඇසක් ඇරෙන විට
සිලි සුළන් කෝඩයක
නුඹේ ගත වෙළෙන විට
මට වගෙම පෙම් සුවඳ
හිතට ඉඟි කරන විට
එන්න මගෙ හද බිමට
පුරුදු ආදරේ ගෙන

Sunday, September 13, 2015

ඔයයි මමයි

බෝම අගනා කියන
ඉස්තරම් පුස්තකේ
මුල්ම පිටු ටික අස්සෙ
අපි දෙන්න හමු වුණේ
මම පෙලක් ඉහළින්‍ ය
නුඹ පහළ පෝලිමේ
කියන්නම් මගේ තතු
පෙරළනා පිටු දිගේ

..............පටුන.......
පරිච්ඡේදය 1
පරිච්ඡේදය 2...........
.........පෙරළනා පිටු අතරෙ
මගේ වත හෙළි කලේ
නුඹව කියවා ගන්න
තව ටිකක් දුර තියේ
පටුනෙ අපි හිටියාට
දැවටි දැවටී බඳේ
කොච්චරක් නම් දුර ද
අපි පොතේ අග ටිකේ


Saturday, September 12, 2015

බොන්සායි

කුමට ඵල දී විලිකුන්
නොලගීවි  නම් විහඟුන්
කුමට විහිදී තුරු පත්
නොලා පොළොවට සෙවණක්
වෙලී නල හා ප්‍රේමෙන්
රඟන පොළොවේ මහ ගස්
මදෙස බලමින් තරහින්
"හැකිද උඹට ඉටු කරන්න සනුහරේ වගකීම ?"
ෆෑන් තටුවට රවමින්
කියම් මට මා රහසින්
" මා විකෘතියක් , සිදු කළ බලෙන් මිනිසුන් "

Friday, September 11, 2015

සිහිනයක පරතරය


යන්තමට සොළොසක් පිරුණු දා
අප්පච්චි  එක්කම  ගාටලා
ලොකු ගෙයක  සිවිලිම  දිහා
බලා ඉද්දිම  අප්පච්චී ගියා......

දෙක තුනක් දින ගත වෙලා
තනිකමට හිත පෑරුණා
ඉසිඹුවක් ඇත ඇත කියා
දා බින්දු මා හා හිනැහුණා
නින්ද පැදුරට එන තුරා
රිදෙන අත් පා සනසලා
ලද ඇසිල්ලක නෙත පුරා
පැනයක් තියා සිත දුර ගියා
හීනෙනුත් හිනැහෙන බේබිලා
දකින්නේ මොනවද කියා?
මමනම් දකින්නෙම,
අම්මලා අප්පච්චිලා .

විභාගය සහ අපි


විභාගය අපේ ,
කබායක්  නැති  මහල්ලෙක්ට 
මදුරුවෙක්  වගේ ,
දෑතින් සියොලඟ වහන්නත්  බෑ 
මදුරුවා කන තැන හොයන්නත් බෑ