Wednesday, September 23, 2015

ඒ රහත් උතුමෝ සහ අපි

මඩ තැවරුණු ,ලේ තැවරුණු දුගඳ හමන 
බර කද මලු හිස දරාන
තුන් සරණේ කවි කිය කිය 
මහ ගිරි ඳඹ නගින්නෝ
සුදු තැවරුව ,විසිතුරු කළ ,සුවඳ හමන 
බර කද මලු හිස දරාන 
තුන් සරණේ කවිත් නොකිය 
මහ ගිරි ඳඹ නගින්නෝ
කිලිටු මඩ ලේ දුඟද ද 
නේක පිවිතුරු සුවඳ ද 
උරුම ඒ කද මලු හැම 
තබා ළිහිණි ට තනියට
කන්ද කරුණා කළ අය 
වඳිති ඒ සිරි පා කමල් යුග

Friday, September 18, 2015

ආයෙමත් ආදරෙන්


හිතුවෙ නෑ මුණගැහෙයි කියල කවදාවත් ම
කෙස් ගහක් දෙකක් පැහුන ට
පරණ පෙම් පාටමයි ඇස්වල
උඩු රැවුලකුත් වවල ඇත්තට
මතකයි ඉස්කෝල කාලෙ
තිබ්බ ආසව ඕකට
කියන්නකො ඉතින් කොහොම ද ?
නෝනට එහෙම

ඇයි ඉතින් කඳුලු ඇස් වල
ඔයා රට යනකොට
බඩට මාස දෙකයි යන්තමට
අම්ම ට අහු වුණා
කනකොට අන්නාසි ගැට
ඊට පස්සෙ මම හිටියෙ
අම්පාරෙ ලොකු අම්මලගෙ ගෙදර
හම්බ වෙනකොට ම නැති උණා
ඔයාගෙ ලේ උරුමෙ මට
සමාව දෙන්න රත්තරන්
මොනා කරන්න ද මම ?

ඊටත් පස්සෙ ,
කාලයක් උන්න අංගොඩ
අම්මවත් ආවෙ නෑ බලන්න
එහෙන් පැනල යනකොටයි
හම්බ උනේ "මැඩම්"ව මට
සලකපු තාලෙට හිතුනෙ ම නෑ
රත්නෙ නපුරක් මට
නාඳුනන මිනිහෙක් අතින්
දෙවෙනි පාරටත් ගෑණියෙක් වෙනකොට
යන්තම් විසි දෙකයි මට
නාඩ ඉන්න ඔයා මොනා කරන්න ද
මගෙ ම කරුමෙ ට

ගෙදර ගියෙ නෑ ඉතිං
ආයෙත් මම
අම්මෝ! අවුරුදු විස්සකට කිට්ටුයි
මේ වෙනකොට
බිස්නසුත් නෑ දැන්නම් මට
ඉඳල හිටල එන කස්ටමර්  කෙනෙක් අරුනම
වෙන වෙන බිස්නස් තමයි වැඩිපුර
ඒත් රත්නෙ ,
හීනෙකින් වත් හිතුවෙ නෑ
ජීවිතෙ හම්බ වෙයි කියල
හොටෙල් කාමරයක්  ඇතුලෙ
ආයෙමත් මට
අනේ රත්තරන් ,
ඔළුව උස්සල බලනව ද
ඉස්සර වගේ ලස්සන නැද්ද මම
එකම එක පාරක් අයෙත් කියනව ද
ආදරෙයි කියල මට
සල්ලි නම් එපා මට ........

Thursday, September 17, 2015

කලු අඳුර වට කරන්
ඇනුම් පද කියන කොට
මල් තුහින කොපුලතේ
උණුහුමට මියෙන කොට
නෙත් අගක ලුණු රසක්
සුළඟ රස විඳින කොට
සිත් ඉමේ නුඹ හිදී
මතක මල් හුරු ගෙන....

අවැසි මුත් දැක ගන්න
සුදු සිනා වත පිපෙන
ආස මුත් විඳ ගන්න
ගත ගලන මුදු සුවඳ
නිදන්නට සිතෙන මුත්
මුව හොවා හසුන් මැද
හිත කෙලෙස පණ දෙම් ද
මතක ලොවැ රන් රුවට.......

විසුල ගගනත අරා
තරු ඇසක් ඇරෙන විට
සිලි සුළන් කෝඩයක
නුඹේ ගත වෙළෙන විට
මට වගෙම පෙම් සුවඳ
හිතට ඉඟි කරන විට
එන්න මගෙ හද බිමට
පුරුදු ආදරේ ගෙන

Sunday, September 13, 2015

ඔයයි මමයි

බෝම අගනා කියන
ඉස්තරම් පුස්තකේ
මුල්ම පිටු ටික අස්සෙ
අපි දෙන්න හමු වුණේ
මම පෙලක් ඉහළින්‍ ය
නුඹ පහළ පෝලිමේ
කියන්නම් මගේ තතු
පෙරළනා පිටු දිගේ

..............පටුන.......
පරිච්ඡේදය 1
පරිච්ඡේදය 2...........
.........පෙරළනා පිටු අතරෙ
මගේ වත හෙළි කලේ
නුඹව කියවා ගන්න
තව ටිකක් දුර තියේ
පටුනෙ අපි හිටියාට
දැවටි දැවටී බඳේ
කොච්චරක් නම් දුර ද
අපි පොතේ අග ටිකේ


Saturday, September 12, 2015

බොන්සායි

කුමට ඵල දී විලිකුන්
නොලගීවි  නම් විහඟුන්
කුමට විහිදී තුරු පත්
නොලා පොළොවට සෙවණක්
වෙලී නල හා ප්‍රේමෙන්
රඟන පොළොවේ මහ ගස්
මදෙස බලමින් තරහින්
"හැකිද උඹට ඉටු කරන්න සනුහරේ වගකීම ?"
ෆෑන් තටුවට රවමින්
කියම් මට මා රහසින්
" මා විකෘතියක් , සිදු කළ බලෙන් මිනිසුන් "

Friday, September 11, 2015

සිහිනයක පරතරය


යන්තමට සොළොසක් පිරුණු දා
අප්පච්චි  එක්කම  ගාටලා
ලොකු ගෙයක  සිවිලිම  දිහා
බලා ඉද්දිම  අප්පච්චී ගියා......

දෙක තුනක් දින ගත වෙලා
තනිකමට හිත පෑරුණා
ඉසිඹුවක් ඇත ඇත කියා
දා බින්දු මා හා හිනැහුණා
නින්ද පැදුරට එන තුරා
රිදෙන අත් පා සනසලා
ලද ඇසිල්ලක නෙත පුරා
පැනයක් තියා සිත දුර ගියා
හීනෙනුත් හිනැහෙන බේබිලා
දකින්නේ මොනවද කියා?
මමනම් දකින්නෙම,
අම්මලා අප්පච්චිලා .

විභාගය සහ අපි


විභාගය අපේ ,
කබායක්  නැති  මහල්ලෙක්ට 
මදුරුවෙක්  වගේ ,
දෑතින් සියොලඟ වහන්නත්  බෑ 
මදුරුවා කන තැන හොයන්නත් බෑ 

විමුක්තිය


උපන් දා 
කෑ ගසා හැඬුවා මම
අමුම අමු නිරුවතින් 
නිල් පාට මුදු උණුහුමක් 
උරුම උනා එතකොට මට 
එදා ඉදන් 
එයාට ...මෙයාට ...ඔයාට 
ඕන විදියට 
අනේකවිධ පාට හැඩ තල 
අස්සෙ හිරකාරයෙක් මම 
ලස්සනයි ....කැතයි 
...මාර හැඩයි ...
 මගේ සේයාව ඔවුන්ගෙ අන්ධ බිංදුව මත 

උනා දමමි මා බදා සිටින 
ඒ පාට පාට ජීවිතය 
ඇඳ ගනිමි 
අමුම අමු නිරුවත 
කෑ ගසා හඬන්නට 
දැන් ආයෙත් පුලුවන් මට ......

පහන් කණුව


මේස සළුවේ එතී 
ක්ෂිතිජ සයනේ වැතිරී 
දවසක ඉමට එළැඹී 
හිරු කුමරු නිදි වැදුනී 

ලද ඇසිල්ලෙන් පිබිදී 
රෑ  කුමරි නෙත් කෙවෙනී 
ගැලූ කළු දිය කඳිනී 
ගම් නගර යට කෙරුනී

ලෝකයට නුඹ අවැසී 
මොහොත එයි දැන් එළැඹී
දේව කාරිය දෙවැනී 
මෙහෙය අරඹනු දුටිමී 

වීදියේ අර දුර ඉම 
පෙනේ නුඹගේ එලි තිත 
රෑ කුමාරිගෙ කඳුළට 
යට නොවූ තැන මෙතැනය 



එකලු වී ඇත නුඹ වට 
දිවිය සුරැකිය නුඹ ළඟ
අහම්බෙන් දුටු නුඹ හිස 
තෙත්ව තිබුණා හොඳටම    

ඉන්ද්‍රචාප


අහස් වත අඳුරු වී 
ලජු බරවූ  නෙත් කොනින් 
ගිලිහුණෙමු එක සනින් 
සිත  තබා මිහි කුසේ ගැඹුරුතම ඉමව්වක 
පිනි තුහින මුතු සලා 
ඈ හඬන නිනව්වෙ 
එකලු විය සේසරින් 
ඈත කඳු දනව්වේ 
නෙක වර්ණ රූ ලතා 
 නොනිමි මන් තලාවේ 
තැනූ  රසඳුන් බලා ඉතින් උන්  සිනාවේ 






සුජාත නොවූ කඳුළ

සුජාත නොවූ කඳුළ
හද කුසේ පිළිසිද
නෙත් ඉමේ ඉපැදුන  
පිය උරුම අහිමි වූ
සුජාත නොවූ කඳුළ 
ලෙහි හොවා ආදරෙන් 
සුව සදනු  කුමකටද 
අත්හලෙමි ඒ හෙයින් 
බිම වැටී මියෙන ලෙස 
එක සැණින 

නිකසලය මා සිත 
නිසසලය  මා සිත
සිතූවද මොහොතකට
දැනේ තෙත් බර ගතිය 
තවමත් නොවියලුණු 
කොපුලත 

පූස් හිටියෙ තනියම
කලු පාට අඳුරට ගුලි වෙලා
ඒත් එයා ආසම
දිලිසෙන කහ ලපේ
වෙනද වගෙම තිබුණ
සිමෙන්තිය උඩ
එක පාරට පනින් නැතුව
ඒකයි මාන අල්ලුවෙ
පස්ස උස්සල නට්ට ගස්සල
අගේ වැඩියි එතකොට
කෑ ගහල නොකීවට
පන්සලෙන් ගෙනාවට පස්සෙ
තනිකමට හිටිය
හොඳම යාළුවා...
තමයි මේ පුන්චි එළිය
කොහෙන් කොහොම ආවත්
පූස්ට කවදාවත්ම අල්ලගන්න බැරි උනත්
පූස් කැමතියි ඒ ලප යාළුව
වහලෙන් එල්ලිලා ඉන්න තාලෙට
.....................................................................
පූස් ට තිබණ මෙහෙම අතීතයක්
වහලෙට සීට් වහන්න කලින්

Wednesday, September 9, 2015

පළිගැනීම


අහස් කඳුළු පිනි මිණි මුතු 
තෙමා කැකුළු තුරු පිවිතුරු 
නගා සරැලි ගඟ ඉම පිරු 
තළා  පෙළන හැටි දිනිසුරු 

සඳ කත් මිණෙන් පොබව 
පිපි කුමුදු 
මුදු යයි කීවෝ 
නෙත ඉසිඹු නොලා 
හිරුට දෙස් දී 
සඳුම සොඳ යයි කීහ ....

සඳ ඇසින් හිරු උන් දුටහ 
උන් හිරු නොදුටුවහ.....    

චමත්කාර: .ඇහැළ මල් කිනිත්තී

චමත්කාර: .ඇහැළ මල් කිනිත්තී: පීත පෑ සළු පැළඳ විසල් තුරු මැදුරතේ  හරිත පෑ කවුලුවෙන් නුඹ කැළුම් පානවා  පෙති දෙතොල මෑත් කර  රේනු දසනන් නගා  කවි සිතේ අගුල් දොර හරිනව...

.ඇහැළ මල් කිනිත්තී

පීත පෑ සළු පැළඳ
විසල් තුරු මැදුරතේ 
හරිත පෑ කවුලුවෙන්
නුඹ කැළුම් පානවා 
පෙති දෙතොල මෑත් කර 
රේනු දසනන් නගා 
කවි සිතේ අගුල් දොර හරිනවා 

නුඹේ දඟකම් බලා 
වැඩ වැරූ නෙත් පියන් 
ඉඩ දුන්නු නියාවෙන් 
හිරු කටුත් මගෙ ඇහේ ඇනෙණවා 
දැන දැනත් නුඹ ඉතින් රඟනවා 

සුළඟ රහසින් ඇවිත් 
නුඹේ බඳ දෑලතේ අත් නගා 
නුඹ වඩා ගන්නවා 
ඉරිසියා මුරුගයන් හපනවා 
හදවතේ ලේ නහර සිඳෙනවා 
දැන් ඉතින් මට හුඟක් රිදෙනවා 

කෙලි දෙලෙන් නුඹ සමඟ
දැවටි දැවටී ඉන්න 
මගෙ හිතේ හීනයක් තියෙනවා 
දිවාකර අවසරෙන්,
 අඳුර පන්දම් අරන් 
රත්තරන් මගෙ හීනෙ දවනවා 
හිතේ අඩමානයට බොඳවී බොඳවී  දෙනෙත 
දුරින් නුඹ ඉන්නවා පේනවා 
තත්පරෙන් තත්පරේ කල්පයක් මුළුල්ලේ
දොලොස් පැය රෑ පුරා ගෙවෙනවා 

නින්ද බැණ වදිනකොට 
නෙතු පියලි අවනතව 
යන්තමට, වියළි නෙත් වසනවා
සොඳුරු දෙවඟන ලෙසින් 
සියක් දන අතර නුඹ
රඟ මඩල කළු සුදුව පේනවා 
මා බලන්නට එන්න 
කියා නුඹ මුදු හඬින්
මගෙ සවන් කුටීරෙට  එබෙනවා  

කළු බිතුව බිඳ  වැටී 
තෙදැති එක් ටැම් මැදුර 
පෙර දවස වාගේම දිලෙනවා 
 නමුදු  මහ හිස් කමක් තියෙනවා 
හරිත පෑ කවුළුවද  
බිම බලා දොම්නසින් 
හූම් ගා සුසුම් රැළි  පිඹිනවා 
නුඹේ රූ මදු සොයා 
නෙත් බිඟුන් උමතුවෙන් 
ගගනතේ ඉම සොයා සරනවා 

අබිෂේක  කොට  අඳුර
එළි බිඳක් නොම පෙරුව 
නිළඹ හිස් බැල්මෙන්ම ඉන්නවා 
විසල් එක්ටැම් මැදුර 
පාමුලේ ඉරි තැලුන 
දූ එලූ බුමුතුරුණ දිසෙනවා 
ඒ මතේ නුඹ නිදා සිටිනවා 
රන් රුවක් වාගේම පේනවා 

ඔබා දෙදනත පොළොව
බලා අදරින් නුඹව 
සිළෝ පත සේ  සුරුව  
වඩා දෑතට ගන්නවා 
අතැර නුඹෙ මිළින ගත  
පීත පෑ දුහුල් සළු 
එකින් එක ලිහි ලිහී වැටෙනවා 
දර දඬුව වක ගැසුන නුඹේ ජීවන හරය 
මගෙ අතේ හරි බරට රැඳෙනවා   

එහෙම ඇති .....

බස් එකේ ,ගෑනු පිරිමි අස්සේ
ඔයත් හිටගෙන ඇති
මම වගේ ..
ළඟ උන්ණු ළමයගෙ
බෑග් එක ගත්තට මම
ඔයා, හරි බරට පොතු ඉරුණු
බෑග් එක එල්ලගෙන ඇති
ඊයෙ රෑ මම ඉම්බ අත් යට ට
දාඩිය ඇවිත්
නිල් පාට හැට්ට අත් තෙමිල ඇති
උසින් අල්ලන් ඉන්න
අත නිසා මෑත් උන..
සාරියේ කවුලුවෙන්
සළෙල ඇස්  නැබ දිහා කුස දිහා බලන් ඇති
උන්ට තරවටු කරන්
නුඹ ළඟින් සිටගන්න
රිදෙන දෑතද මුදා
වාරුවක් අරගන්න
මම ළඟින්  නැති නිසා
දුක වගෙම තරහකුත් ඇස් කොනට
ඇවිත් ඇති..
දුක හිතේ තද කරන්
බස් දොරෙන් බහින කොට
ෆින්ගර් ප්‍රින්ට් පෝලිමත්
ඉවර ඇති
සුදු මැණිකෙ අදත් දොස් අහන් ඇති.....