Wednesday, September 9, 2015

.ඇහැළ මල් කිනිත්තී

පීත පෑ සළු පැළඳ
විසල් තුරු මැදුරතේ 
හරිත පෑ කවුලුවෙන්
නුඹ කැළුම් පානවා 
පෙති දෙතොල මෑත් කර 
රේනු දසනන් නගා 
කවි සිතේ අගුල් දොර හරිනවා 

නුඹේ දඟකම් බලා 
වැඩ වැරූ නෙත් පියන් 
ඉඩ දුන්නු නියාවෙන් 
හිරු කටුත් මගෙ ඇහේ ඇනෙණවා 
දැන දැනත් නුඹ ඉතින් රඟනවා 

සුළඟ රහසින් ඇවිත් 
නුඹේ බඳ දෑලතේ අත් නගා 
නුඹ වඩා ගන්නවා 
ඉරිසියා මුරුගයන් හපනවා 
හදවතේ ලේ නහර සිඳෙනවා 
දැන් ඉතින් මට හුඟක් රිදෙනවා 

කෙලි දෙලෙන් නුඹ සමඟ
දැවටි දැවටී ඉන්න 
මගෙ හිතේ හීනයක් තියෙනවා 
දිවාකර අවසරෙන්,
 අඳුර පන්දම් අරන් 
රත්තරන් මගෙ හීනෙ දවනවා 
හිතේ අඩමානයට බොඳවී බොඳවී  දෙනෙත 
දුරින් නුඹ ඉන්නවා පේනවා 
තත්පරෙන් තත්පරේ කල්පයක් මුළුල්ලේ
දොලොස් පැය රෑ පුරා ගෙවෙනවා 

නින්ද බැණ වදිනකොට 
නෙතු පියලි අවනතව 
යන්තමට, වියළි නෙත් වසනවා
සොඳුරු දෙවඟන ලෙසින් 
සියක් දන අතර නුඹ
රඟ මඩල කළු සුදුව පේනවා 
මා බලන්නට එන්න 
කියා නුඹ මුදු හඬින්
මගෙ සවන් කුටීරෙට  එබෙනවා  

කළු බිතුව බිඳ  වැටී 
තෙදැති එක් ටැම් මැදුර 
පෙර දවස වාගේම දිලෙනවා 
 නමුදු  මහ හිස් කමක් තියෙනවා 
හරිත පෑ කවුළුවද  
බිම බලා දොම්නසින් 
හූම් ගා සුසුම් රැළි  පිඹිනවා 
නුඹේ රූ මදු සොයා 
නෙත් බිඟුන් උමතුවෙන් 
ගගනතේ ඉම සොයා සරනවා 

අබිෂේක  කොට  අඳුර
එළි බිඳක් නොම පෙරුව 
නිළඹ හිස් බැල්මෙන්ම ඉන්නවා 
විසල් එක්ටැම් මැදුර 
පාමුලේ ඉරි තැලුන 
දූ එලූ බුමුතුරුණ දිසෙනවා 
ඒ මතේ නුඹ නිදා සිටිනවා 
රන් රුවක් වාගේම පේනවා 

ඔබා දෙදනත පොළොව
බලා අදරින් නුඹව 
සිළෝ පත සේ  සුරුව  
වඩා දෑතට ගන්නවා 
අතැර නුඹෙ මිළින ගත  
පීත පෑ දුහුල් සළු 
එකින් එක ලිහි ලිහී වැටෙනවා 
දර දඬුව වක ගැසුන නුඹේ ජීවන හරය 
මගෙ අතේ හරි බරට රැඳෙනවා   

No comments:

Post a Comment